Sunday, 30 December 2012

සල්ලාල ආත්මයක සංසාර පාපෝච්චාරණය


















විඩාපත් කොළොම් තොට
ඉකිබිඳින අහස යට
සොයනවා මම සොයනවා
මිටින් ගිලිහුන
ජීවිතය මම සොයනවා

තෙතක් නැති හදවත් ගොඩක් මැද
තදකරන් හීනයක් පපුවට
දුවනවා මම දුවනවා
මා නුදුටු ඒ
ලොව සොයා මම දුවනවා

දිවෙන මාවත අඳුරු සෙවනක
හීන විකුණන තරු ඇසක් ළඟ
විඳිනවා මම විඳිනව
නිමේෂයකට
ජීවිතය මම විඳිනවා
Read More

Thursday, 20 December 2012

සයනය පුරා ලෝ සිතියම් ලකුණු තියේ

හිරිමල් හිතින් එබිකම් කල තුරුණු_____වියේ
නටබුන් තවම හිතමත තෙරපිලා ______තියේ
අවසන ගෙවෙන්නේ සමනල ____වසන්තයේ
ලියකම් තවම නැහැ ආවේ _______දිගන්තයේ

අඩවන් නෙතින් බලනට හැඩ නාරි ____රුවේ
උණුසුම විඳින්නට තිසරුන් අතර ______ලයේ
පහසක් ලබා ලෝ අමරස ________සුරන්තයේ
 
ආසයි පදින්නට ඔරුවක් සිහිල් ________දියේ
 
සරණවළා හඬ නොදෙනා තුරුණු_______ වියේ
සහනය සිහිනයේ දැවටී වඩින _________රැයේ
මනසේ රූ රටා දෑතින් අඳින __________පැයේ
සයනය පුරා ලෝ සිතියම් ලකුණු _______තියේ


මුහුණුපොතේ කවිපිටුවක ( අම්බලම ) දුටු කවියකින් උපන් කවියකි


ප.ලි.ල

මගේ උපන්දිනේට සුභපතපු හැමෝටම හුඟාක් ස්තුතියි..... රිප්ලයි කොමෙන්ට් දාන්න බැරි උනාට සොරී ඈ.. උපන්දිනේට පස්සෙ දවසෙ උපන්දිනේ සමරල කුජීත වෙලා හිටියේ,, ඊටපස්සෙ ඔෆීසියේ වැඩවගේකට හිර උනා... බ්ලොග් වලිනුත් ටිකක් ඈත් උනා.. ඔන්න ඕවයි අතපසු වීමට හේතු

එහෙනම් අපි ගියා

හැමෝටම හෙටදවසේ වේදනාවෙන් තොර සුවපහසු මරණයක් ප්‍රර්ථනා කරනවා....
Read More

Thursday, 6 December 2012

අද තමයි දවස



එහෙමට කියන්න තරන් ලොකු දෙයක් නෑ.. අදට ඉතින් මං මීගොඩය ඉපදිලා අවුරුදු ගානක් සම්පූර්න වෙනවනේ... අමුතු සතුටක් නැතත් අදවගේ දවසක මගේ 30ක් 40ක් වගේ වෙච්ච සුවහසක් රසික රසිකාවියො අමතක කරන්න බෑ රසිකයෝ අමතක කලත් රසිකාවියො අමතක කරන්න පුලුවන්ද.. බෑනේ.. ඉතින් මම තීරණය කලා කට්ටියත් එක්ක එකතුවෙලා පුංචිම පුංචි පාටියක් දාන්න....
අමාවකටත් සිල් ගන්න මට ඉතින් සැර බීම ජාති අකැපයි ඒ හින්දා ඉතින් අපි කට්ටිය සතුටින් සමාදානෙන් රසම රස කේක් එකක් කපලා.. සමගියෙන් සමාදානෙන් බෙදාගෙන කමු...

ආ එහෙනම් එන්ඩෝ........ කේක් කන්න එන්ඩෝ.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හා හා පොර කන්න එපා.. හැමෝටම තියනවා.... අතේ ගාගන්න අප්පිරියයි වගෙනම් මෙතනින් හැන්දක් ගන්න
අය්යෝ බලන්න ඔයාට පිලිවලට කේක් කෑල්ලක්වත් කන්න බෑනේ,, මූණ පුරාම ගාගෙන.. කහපාට කෑල්ලක් නහය ගාවත් ආ මේකෙන් මූණ කට පිහිදගන්න
පාටියට සමගාමීව මම තීරනයකලා මගේ දේශ දේශාන්තරව විසිරිලා පැතිරිලා. වැතිරිලා ඉන්න සුවහසක් බ්ලොග රසික රසිකාවියන්ට කරන් උපහාරයක් විදියට මගේ උත්තුන්ග ශ්‍රී දේහයත් පින්බර අවිහින්සක කඩවසම් මුහුනත් තහඩුවත් අන්තර්ගත සමීප චායා රූපයක් සයිබරයට මුදා හරින්න.. ඒක අද රත්‍රී මූණු පොත හරහා කරන්න තමා සැලසුම් කරලා තියෙන්නේ.. එහෙනම් රැට මූණු පොතට එන්න මාව බැහැ දකින්න
(රසිකලා රසිකාල විතරක් නෙවෙයි... ඔයාල ත් එන්න ඈ.. නමක් නමක් ගානේ අඩගන්න ඔනේ නෑනේ.. මේක විවෘත අරාධනාවක් )

එහෙනම් හැමෝටම ස්තුතියි කිව්වා

යන්න කලින් මාත් එක්ක අද උපන්දිනය සමරන අපේ තොටුපොල අයිනේ ලියන තොටියා දොස්තර මහත්තයටත් සුභම සුභ උපන්දිනයක් වෙවා කියාගෙන යනවා








 
Read More

Wednesday, 28 November 2012

දේශපාලන සාකච්චාමය වැඩ සටහන- මල සමයං

අදත් අළුත් වැඩක් පටන් ගත්තා.. මට අළුත් උනාට මේ වගේ පෝස්ට් ඕන තරම් තියෙනව ඈ.. භය නැතුව මේ කාලේ පටන් ගත්තේ දැන් ඉස්සර වගේ නෙවෙයිනේ.. පොඩ්ඩක් හරි ගැස්සුනොත් යන්න වෙන්නේ සුදු ලැම්බෝගිනි වල.. කොහොමටත් තව දවස් දෙකතුනකින් ඔය දඟලන් කට්ටියට යන්න වෙන්නේ සුදුපාට චන්ද්‍රිකාවල.. අවසාන ගමන හරි චන්ද්‍රිකාවක යන්න ඇත්තම් කියල තමා භය නැතුව මේ පෝස්ට් එක ලියන්නේ


*   *   *

හොඳයි ප්‍රිය හිතවතුනි ඔබ මේ එකව සිටින්නේ රූපවාහිනී දැවැන්තම දේෂපාලන වැඩසටහන මල සමයං සමගයි.. අද අපිත් එක්ක කථාබහට එක්වෙන්නේ යුගයේ ජනප්‍රිය රතු ගඩොල් ඇමතිතුමා...
 
ආයුබෝවන් ඇමතිතුමා _/"\_


ආයුබෝවන්
_/"\_

ඇමතිතුමා අපේ වැඩ සටහන වේනස්.. අපි ඔබ තුමාගේන් අහන්නේ එකප්‍රශ්නයයි.. ඒ රටේ දැවෙන ප්‍රශ්නයක්.. ඔබතුමාට තියෙන්නේ ඒකම එක ප්‍රශ්නයකට පිළිතුරු දීල ගීතයක් ගායනා කරල වේදිකාවෙන් සමුගන්න...

රතු ගඩොල් ඇමතිතුමා ලෑස්තිද?


ඔව් ලෑස්තියි...


 පළමු සහ එකම පැනය ඔබ වෙත ගෙන එන්නේ VIROOZ සාදර අනුග්‍රහයෙන්


පිබිදෙන දේශයක අපේම නිෂ්පාදනයක් මිලදීගෙන අශ්චර්යමත් දෙපයක හිමිකරුවෙක් වෙන්න...
අපේ කාලෙට අළුත් තාලෙට.. විලාසිතා රැසක්..
සුමුදුයි .. සැහැල්ලුයි...  දෙපයට දැනෙන්නෙවත් නෑ ( ගලවල පැත්තකින් තිබ්බහම ඈ )

( කට්ටිය  VIROOZ ක්ලික් කරල FACEBOOK FAN PAGE  එකට ගිහින් ලයික් එකක් එහෙම දාල එන්න ඕනේ හරිද )
*  *  *

හොඳයි සුපුරුදු පරිදි ඔබ නැවතත් මලසමයං වැඩ සටහන් සමගින්... රතුගඩොල් ඇමතිතුමා.. අපි බොළඳ ප්‍රෂ්න අහන්නෙ නෑ.. ඔබතුමා ලඟදි උපවාසයක් කරන්නේ නැද්ද?, අළුත් ගෙයි වැඩ කොහොමද?, සල්ලි පොලියට දෙන බිස්නස් එක කොහොමද?, ඔය වගේ ඔබතුමාගේ පෞද්ගලික ජීවිතයට අදාල ප්‍රශ්න අහන්නේ නෑ.. අපි අහන්නේ රටේ දැවෙන ප්‍රෂ්න... සිංහලෙන්...
මම නැවතත් අහනවා ඔබතුමා ලෑස්තිද ප්‍රෂ්නය බාරගන්න.. අකමැතිනම් ඔබ තුමාට පුළුවන්.. මම ප්‍රෂ්නවලට උත්තර දෙන්න හපනෙක් නෙවෙයි කියලා ගීතයක් ගායනා කරලා වේදිකාවෙන් බැහැලයන්න

නෑ මම ලෑස්තියි .. ප්‍රශ්නෙට


හොඳයි රතු ගඩොල් ඇමැති තුමා ඔබට ලැබෙන ප්‍රෂ්නය:
ඔබ තුමා සහෝදරවරු සමග ඉදිද්දී තදින්ම ප්‍රකාශ කලා.. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරනය හරියට ලිප්ගල් තුනවගේ සමාන විය යුතුයි... නැත්නම් රටේ සමතුලිත භාවය බිඳවැටේනවා.. මේවගේ ප්‍රකාශ නිතරම ඔබ කලා... නමුත් අද ඔබගේ ස්ථාවරය වෙනස් .. ඇයි මෙහෙම කාලෙන් කාලෙට වචන මාරු කරන්නේ

මම පැහැදිලවම ඉන්නේ කලින් හිටිය ස්ථාවරේම තමයි... අදටත් මම කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරනය.. ලිප්ගල් තුනවගේ වෙන්න ඔනේ කියල ... මම පැහැදිළි කරන්නම්

දැන් බලන්න විධායකය.. ඒ කියන්නේ අපේ මාලින්ද රාජරත්න තුමා කොහෙද ඉන්නේ.... මැදමුලනේ
ඊලඟට බලන්න ව්‍යවස්ථාදායකය.. ඒකියන්නේ පාර්ලිමේන්තුවේ ලොක්ක ඒ කියන්නේ කථානායකතුමා.. චාමෙල් රාජරත්න කොහෙද ඉන්නේ.. මැදමුලනේ...
අධිකරනයේ ලොකුතැන .. ඒයා වෙන කොහෙවත්
ඉතින් පැහැදිලිවම අපිමේ හදන්නේ අපේ සපුමල් රාජරත්න මැතිතුමාට අධිකරණ බලතල බාරදීල ඉතිරි ලිප්ගලත්
මැදමුලනට ගේන්න..
ලිපේ ගල් තුන තැන් තැන්වල තිබිලා වැඩක් නෑ ඒ තුනම තියෙන්න ඔනේ එකම තැන


ඇයි අවුලද?  :P
ඇයි අවුලද?


ප. ලි. ල

තුන එක තැනට ගෙනැල්ල දරට අපිව ගන්න එක තමා කැත
Read More

Sunday, 25 November 2012

සම්මතයට වඩා සොඳුරු වූ අසම්මතය

අදත් ඔන්න ඉතින් අප්සට් කවියක් ලියවුනා.. අප්සට් උනත් ඔන්න ඔහේ පබ්ලිෂ් කරලා දාන්න හිතුනා... මට කලින් මෙව්ව ගැන බ්ලොග් දැවැන්තයොත් ලියල තිබ්බනෙව මේතියෙන්නේ රාජ් ලියපු එකක්...මේන්න ලඟදි බ්ලොක් අතරට ආපු පොඩිපුතා ලියපු එකක්.. එව්වත් නිකමට වගේ කියවන්නකෝ

එසඳ ඒ මානවක තෙම
දෙවර්ගයක මල් දෙකක්
ලවන් වෙත ලංකර
සෙව්වේය ජීවිතය
මල් අතර වරින් වර

ඉන් එක මලක්
සම්මතයේ හිනිපෙත්තේ වූ අතර
අනෙක් මල
අසම්මතයේ අනන්තයේ විය

සම්මතයේ මලෙහි සෑම විටකම
සතුට අවසන දුකක්ද
සැහැල්ලුව අවසන බරක්ද
විඳීම අවසන විඳවීමක්ද
ආශ්වාදය අවසන කළකිරීමක්ද විය


අසම්මතයේ මල සැම විටම
ජීවිතයට සතුට  සැහැල්ලුව එකතු කොට
සඳ තරු අතරින් ආශ්වාදයේ අනන්තයට
රැගෙන ගිය සඳ
ඔහුට වචනයේ පරිසමාප්තියෙන්ම
සැනසුමක් විය


සීතළ පිණිබිඳක් බඳු වූ
සම්මතයේ මල
සිත ගිණි තැබූ අයුරුත්
කෙළවර ගිණිගැනුනු
අසම්මතයේ මල
හිතේ ගිණි නිවූ අයු
රුත් සිහිකර

සිනහ විය හෙතම
අඩවන් නෙතු පියන් මෘදුව එකතුකොට
තවත් සුදුපැහැති දුම් වලල්ලක්
අහසට විසිකොට




ප.ලි.ල



අර උඩ ලින්ක් දෙකක් දුන්නේ බනිනවනම් ඒගොල්ලන්ටත් එක්කම බනින්න ඈ මට විතරක් එපා :P
Read More

Monday, 12 November 2012

දෙගුරුන් සමග කතාබහ ( රස කතා )

අදනම් පට්ට චා දවසක්. බටර් උල්පතක් සෙට් උනා ලෙසටම. ඉතින් සික් ලිව් එකක් දාලා ඇවිත් පරණ බැනියමකට බටර් පම්ප් කර කර ඉන්දෙද්දී හිතුනා බ්ලොගේ අකුරක් දෙකක් කොටන්න කියලා..

මීගොඩයට තියන ලොකු දෝශාරෝපනයක් තමා වැඩිපුර කවි ලියනවා, කතන්දර ලියන්නේ අඩුවෙන්ය කියන එක .. කතාවට ඉතින් අලුතින් පද ගලපන්න දෙයක් නෑ එකෙන්ම ඇත්ත ..අඬවැඩියාව වැඩිපුරම දාන්නේ ඉතින් සිරාගේ කාමරේ සිරා කොළුවා... අනේ සිරෝ බොහොම අමාරුවෙන් පද හතරක් ගැලපුවට ඔය දිගට දිගේ පෝස්ට් කෑලි ලියන්න හෙන අමාරුයි බං.. මට කම්මලි කම කියල හෙන භයානක අසනීපෙකුත් තියන එකේ ඕක පට්ට අමාරු වැඩක..ඒත් ඉතින් එහෙමයි කියල බෑ.. හිට් කොමෙන්ට් ගන්න නම් ඉතින් කථාවක් දෙකක් ලියන්නම වෙනවා .. පුහ් අපි නම් හිට් කොමෙන්ට් බලාගෙන ලියන්නෙ නෑ කිව්වට පට පට ගාලා හිට් කැරකෙද්දි.. සට සට ගාල කොමෙන්ට් වැටෙද්දි උණ්ඩුක පුච්ච ඇකිලිලා..මහබඩවැල කැලැත්තිලා... මහා ප්‍රාචීර මෙව්ව එක මෙව්ව වෙලා ගිහින්.මාරම කික් එකක් එනවා ..

හෑ මොනවද මේ ලියල තියෙන්න .. වැල් වටාරන් ඔනෙ නෑ.. අද බ්ලොග් කියවන හුදී ජනයාගේ ලාම්පු දුක උදෙසා මම දෙන්න යන්නෙ කථා ටිකක්.. දරුවන් හා දෙමවුපියන් අතර ඇති වූ දෙබස් ..

ඔන්න මේ සිද්දිය උනේ මගේ යාළුවෙක්ගේ අය්ය කෙනෙකුට ... මේකා බොහොම නිවිච්ච කොළු ගැටය.. කොච්චර නිවිලද කියනවනම් ශරීර උෂ්නත්වයත් සෘණ අගයක පවතින්නේ.. මේ හාදය උසස් පෙල අහවර වෙච්ච දවසේ යාළුවො ගැන්සියත් එක්ක සැට් වෙන්න ගිහින් තියෙනවා.. අනේ ඔය කොයි දීපන්කරේ ගියත් මූ නෙවෙයි උගේ සීලේ බිඳගත්තේ .. යාළුවෝ යාළුවන්ගේ ෆන් එක ගද්දි අපේ අය්ය හාදය තමන්ගේ සීලේ රැකෙන විදියට තමන්ගේ ෆන් එක ගත්ත

බූරුව ගැහුවත් එකයි බූරු ගහන තැන හිටියත් එකයි කියල කථාවක් තියනවානේ.. ඉතින් මේ අය්ය හාදයා යාලුවො එක්ක සෙට් වෙලා බොනවා කියන ආරංචිය බොහොම ඉක්මනින් පලාතේ කඩ හිමියෙක් වෙච්ච කොළුවගේ තාත්තගේ කනට ආව..තාත්තා  මේක අහල කලබල උනාද පිං වතුනි ( මේ වචන කොපි කලා කියලා මාරය මට නඩු දාන්නයෑ ) නෑ.... තාත්තත් පුතාවගේ බොහොම නිවිච්ච ගරු කටයුතු.දුර දිග හිතන මනුස්සය වෙච්චි .. ටිකක් කල්පනා කලා. එහෙම කල්පනා කොරලා හවස් අතේ හීනි ෂොට් එකක් එහෙම දාගෙන ඇවිත් ( අනේ කඩේ මාමා ඉඬල හිටලා චුට්ටක් බොනවා.. කාටවත් කරදරයක් නෑ ඕන් ) නිදාගෙන පහුවදා උදේ කොළුවට කථා කරනව කියල හිතලා නිදා ගත්තා

පසුදා උදේ මෑණියන්දෑ  කුස්සියේ උයන අතර  ( ඇත්තටම මේ දෙබස් මට කිව්වෙ කඩේ ඇන්ටි )

මුදලාලි මාමා : පුතේ උබ දැන් විභාගෙත් ඉවර කරපු ලොකු ඉලන්දාරියෙක්. උබට දැන් හොඳ නරක තේරෙනවා,, උබේ වයසෙ කොල්ලෙක්  බියර් එකක් බොනවා කියන්නේ  වැරද්දක් නෙවෙයි.. උබට බොන්න ඔනේ නම් යාලුවො එක්ක එහෙ මෙහෙ යන්නෙ නැතුව බියර් දෙක තුනක් ගෙනැල්ල් ගෙදර තියාගෙන බිව්වට වරදක් නෑ

අපේ අය්යා හාදයා : අනේ මේ ඔයා හදන්නේ මගේ පහනෙන් එළිය බලන්න .. මම ඔය ජහ ජරාව බොන්නේ නෑ.. කල් කදුරු වගේ තිත්තයි කොහොම බොනවද මන්දා 



ඔන්න ඔහොමයි කඩේ මාමා තමන්ගේ පුතාට දැනමුතුකම් දුන්නේ
                                        *   *   *   *    *
මේ කථාව උනේ මීගොඩයා රස්සාව කරද්දි.. විගණන ආයතන ඔය සිංහලෙන් ඔඩිට් ෆර්ම් කියන්නේ අන්න ඒකේ වැඩ කරන කාලේ මට හරිම අපූරු යාළුවෙක් හම්බ උනා . අදටත් මගේ ටොප් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා..උන්ගෙ ගෙදර අම්මයි තාත්තයි බුවයි මල්ලියි තමයි ඉන්නේ.. බුවාගේ අම්ම මූට වඩා අවුරුදු 20ක් විතර තමා වඩිමල්.. හරිම සමගියෙන් සතුටින් ජීවත් වෙන පවුලක්.. අම්මයි තාත්තයි මුන් දෙන්නට යාළුවො දෙන්නෙක් වගේ..

මම මුළින්ම උන්ගෙ ගෙදර රැයක් හිටිය දවසේ මගේ හිතට දැන්න්න සරල සිද්දියක් මතක් උනා කථාවට අදාල නැතත් කියල ඉන්නම්කෝ
එදා උදේ මුන්ගේ මල්ලි පන්ති යන්න කියල නාගෙන එහෙම ඇවිත් තුවායත් ඇඳගෙන කොණ්ඩේ ජෙල් කරනවා... දන්නවනේ අර දෙපැත්තෙ කොණ්ඩේ එකතු කරල ඉස් මුදුනට ගොඩ ගහන ස්ටයිල් එක තමා දාන්න යන්නේ... ඔය අතරේ අම්මා තේ තුනකුත් අරන් ඇවිත් කණ්නාඩි මේසේ උඩින් තියලා පොඩි කොලුවගේ කොණ්ඩේ අල්ලලා අහනවා "මොකෝ බන් උඹේ ඔළුවේ ඩයිනෝසරයෙක්ගේ වගේ කටු කටු කියලා... "

පොඩි එකත් "ඔයා මොකටද කොල්ලන්ගෙ කාමර අස්සේ රින්ගන්න එන්නේ දුවනවා එළියට" කියල ඌ ඇඳන් ඉන්න තුවාය කැඩුවා...

උන්ගේ අම්මත් හිනාවෙවී "අනේ උඹගේ ඕක දැක්කට මම බයවෙයි.. ඕකට ගම්බිරිස් පිම්බෙත් මමනෙ බොල" කියාගෙන කාමරෙන් එළියට ගියා..

( ඒ ඇඩ් එකක් ඈ එච්චරට විනෝදයි පවුලේ උන් සෙට් උනහම )

ඉතින් කාලය ඔහොම ආස්සරය කරද්දි මමත් ඒ ගෙදර එකෙක් ගානට ගෙදර අයට සමීප උනා...

උන්ගෙ මල්ලිත් ජොබකට යන්න පටන් ගත්ත .. ගෙදර තුන්දෙනාම දැන් ජොබ්...

සෙනසුරාදා දවසක් මමයි මගේ යාළුවයි දෙන්නම ඩ්‍රින්ක් එකක් එහෙම දාලා උන්ගෙ ගෙදර ගියා .. ( ඉස්සෙල්ලාම බීලා ගියාමයි ).. ටිකකින් මල්ලිත් ආවා ඌ ඇවිදින්නෙත් නිකන් හරහට වගේ... මම බාත් රූම් එකට ගිහින් එනකොට ත්‍රීවීල් එකකින් ඇවිත් තාත්ත බැස්ස .. තාත්තත් රුහිත ආසියා වගේ ඇදවෙලා.. සද්ද බද්ද නෑ ..අපි හෙමින් සීරුවේ දොය්ය බබා කිව්වා..

පහුවදා ඉරිදනේ .. දෙය්යනේ කියලා නැගිටලා.. දත කට මැදගෙන ( ඇඟිල්ලෙන් ) මූණ හෝදගෙන එද්දි අම්ම කථා කලා උදේට කන්න ... කට්ටියම කුස්සියෙ තියෙන පුන්චි කෑම මේසේ වට වෙලා... මමත් ඉතින් හෙමීහිට වාඩි උනා...

තාත්තට කෑම බෙදනගමන් අම්ම කියනවා... "ඉස්සරමම එක බේබද්දෙක් එනකන් නිදිමරාගෙන බලන් හිටියා... දැන් බේබද්දො තුන්දෙනෙක් එනකන් බලාගෙන ඉන්න වෙලා" ( මම එතන නෑ මාර ආතල් )

මේක අහගෙන හිටපු අරූගේ මල්ලි කියපි.." ඒ මදිවට බීල එද්දි වට පිට ඉන්න බේබද්දොත් ගෙදර එක්කගෙන එනවා.. "

ශික් අරූගේ අවලන් කට .. කලිදා රෑ බීපුව කකුල්දෙක පල්ලෙ බේරෙනවා වගේ දැනුනා

ඒත් අම්මා හිනාවෙලා කිව්ව..  අය්යලා දැන් අවුරුදු තුන හතරක් රස්සාව කරනවා.. උඹ ඇටෙන් පොත්තෙන් එළියට ආවා විතරයි.. පඬි කථා කොකිය කට වහගෙන කාපිය කියලා

මම අරූට :P කලා

                                   *   *   *   *    *

අපේ බාප්පගේ කොළුව ඉන්නව නේ.. ඉන්නව නේන්නම් හිටියට වඩා හොඳයි ඌ නොහිටියනම්.. උගේ ඇඟ පුරා මොලේ.. මොහොකට හරි කථා කලොත් මගෙන් කුණු හරුප දෙකක් අහගෙන තමයි පැත්තකට වෙන්නේ...

හැබයි ඉතින්.. ඔය ඉලෙක්ට්‍රික් වැඩ වගේම දෑතේ කොයි වැඩේටත් හරිම දස්සයා.. ඉගෙන ගන්න උනත් සූරයා.. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ උපන් ගෙයි මෝඩ ගතිය තියනවාමයි..

කොහොමින් කොහොම හරි ඉතින් මුන්ගේ ගේ හදද්දි වරින් එක කලේ මූ.. අවූරුදු 20ක පොඩි එකා උනාට ඒ අතින්නම් සිරාම වැඩ්ඩ.. කොහොම හරි ඔය වයරින් වැඩ කරද්දි අපේ බාප්පයි මූයි පැටළුනා.. බාප්පා එකක් කියනවා .. මූ එකක් කියනවා.. මට ඔව්ව තේරෙන්නේ නෑ.. මොනව උනත් දෙන්න ගේම ඉල්ලගන්න විදියේ අමුතු ගතියක් තිබ්බ හින්දා මමත් කණ දාගෙන හිටියා..

මලය කියනවා.. " මේ ඔයා තාත්තේ දන්නේ නැති මගුල් වලට කට නොදා ගිහින් ඔයාගේ වැඩක් බලාගන්න.. මට මේක කරගන්න පුළුවන්.." කියලා

තාත්ත වෙච්ච අපේ බාප්පා මේ ඇච්ච කොල්ලෙක්ට සෙකන්ඩ් උනාද පින් වතුනී.. නෑ එහෙම උනේ නෑ ..

හැරෙන තැපෑලෙන්ම බාප්පත් කියපි.. "යකෝ ඔය විදියට කථා කරන්න එපා... අපි උඹලව හැදුවේ රෑ තිස්සෙ නිදිමරාගෙන ඇඟේ වස්තරේ නැතුව .. ඒ හින්දා ටිකක් ගරු සරු ඇතිව කථා කරපන් කියලා ".

පේනවනේ දරුවෙක් හදන්න කොච්චාර දේ කැප කරන්න වෙනවද කියලා



Read More

Thursday, 8 November 2012

වැස්ස

අද කට්ටියගෙම කථාව අයවැය ගැනනේ.. මටනම් ඕවයේ වැඩි තේරුමක් නෑ.. කරන්න් දෙයක් නැතිකමට කම්මැලිකම යන්න කියල අදත් පුරුදු විදියට කවියක් ලිව්වා

ඉහල අතු අග පිපී ලෙලෙනා
මල්පොකුරු ආදරෙන් සනසා
රැඳුණු දූවිළි හොඳින් පිසදා
වැස්ස නුඹ හරි මෘදුව වැස්සා

පහල තණපත් අතර විකසිත
පුංචි තණමල් මඩින් නහවා
මල් අතර කුණු තවත් රඳවා
බොර වතුර ගල ගලා බැස්සා
Read More

Wednesday, 7 November 2012

නිදි වදින සඳ


වළාවක ලිවූ විරහ කවිපද
සුළඟේ පාකර හිරුට යැව්වට
රෑ පුරාවට අහස් යහනත
තරුත් එක්කල නිදිවදියි සඳ
Read More

Wednesday, 31 October 2012

කන්‍යාවී ( වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි .. පිරිමින්ට විශේෂයි )

 මෙම ලිපිය සාර්ථකව වටහාගැනීමට සමකය වටේ රවුමක් යන්න මෙතැනට පිවිසෙන්න

මාර්ගය පුරා එලිය විහිදුවමින් දුවන වාහනය... ඔවුන්ට අරමුණක් ඇත . මාර්ගය දෙපස ඇවිද යන මිනිසුන්ය. ඔවුන්ටද අරමුණක් ඇත. හිසට ඉහළින් පියාබන කුරුල්ලන්ය උන්ටද අරමුණක් ඇත. මාර්ගය අයිනෙන්ම ඇවිදින්නේ මමය. ඒත් ඒ ඕනවට එපාවටය. ලොව අරමුණක් නැති එකම මිනිසා මමද .. ඉපිද මියෙන දහසක් සිතුවිලි අතර මමද බෝඩින් කාමරයට ඇතුළු උනෙමි. අමුතුවෙන් කරන්නට දෙයක් නැත . කමිස සාක්කුවට අතදමා සොයාගත් දුම්වැටිය දෙතොල් අතර රැඳුනේ පුරුද්දටය.. දැවෙන සිතුවිලි අතරට දුම් ගුලියක්ද ඇතුළු කොට අසරණ වූ සිතුවිලි දුම් රොටු සමග පිටකිරීමේ බොළඳ ආශාවක් මාතුල පවතින්නට ඇත. සාමාන්‍යයෙන් දුම්වටියක දුම් උගුරු දහතුනක් වේ . එහෙත් අද එය නවයකි. ව්‍යාකුල සිතුවිල මට ගණන වරද්දා ඇත නැතිනම් මා වෙනදාට වඩා වේගයෙන් දුම් වැටිය උරා ඇත . මා ප්‍රථම දුම් වැටිය බිව් දිනය සිහිවිය. ඒ අදමෙන්ම ජීවිතයෙන් පරාද වූ දිනයකය..

මා මිතුරා සසිඳු අත වූ දුම්වැටිය මා අතට ගත්විට සසිඳු මා නොනවතුයේ මා සිටි පරාජිත මානසිකත්වය වටාහාගත් නිසාමය. අදමෙන්ම නොව මට කැස්ස ආවේය.. කැස්සත් සමගම හිතේ දුකද දියකරමින් දෙනෙතට නැගුනු කඳුළු තුලින් මා සසිඳු ඇමතුවෙමි

" ඇයි බං ඒකි මාව දාල ගියේ'
මම  ජීවත් උනේ ඒකි වෙනුවෙන් බං .. හම්බ කරපු හැම සතයක්ම වියදම්කලේ ඒකිට .. ඒකි බලන්න යද්දී හැමදාම ටිපි ටිප් පැකට් එකක් එක්ක ටෙඩියෙක් අරං ගියා .. ඒකි කැමති හැමතැනම එක්කන් ගියා.. ඉල්ලන හැමදේම අරං දුන්න ..
 ඇයි මට බං ඒකි මාව දාල ගියේ

සසිඳු කාමරයේ ජනේලයෙන් අනන්තය සොයයි..ඌට මගේ ප්‍රශ්නයට උත්තර නැත. ශාමි හා මා අතර සම්බන්ධය බොහෝ සංවෘත එකක් විය.. බොහෝ දෑ අප දෙදෙනා පමණක් දැනසිටි දෑ විය

උබ ඒකිගෙන් වැඩක් ගත්තනේ  ?

සසිඳු කියන්නේ  අපේ ලිංගික ජීවිතයගැනය ..

සිවිලිම  දෙසබලා සිනාසෙනවා හැරෙන්නට මට උතරයක් නැත ..ඒ සිනහව තුල වුයේ උපහාසයද මා කෙරෙහි වූ අනුකම්පාවද යන්න මට වැටහුමක් නැත..  අප අතර සිදු වූ දේ දැනගත යුත්තේ අපදෙදෙනා පමණි.. ලිංගික ජීවිතයට තුන්වැන්නෙක් අවශ්‍ය නැත .. ඒ මගේ ස්ථාවරයයි.. එහෙත් සසිඳුට හැමදේම කියන්නට උවමනා නැත .. එක පතේ බත් කෑ .. එකම ඇඳ දෙකට බෙදාගත් .. එකම ඩෙනිම පට්ට ගසූ අප අතර. එකිනෙකාගේ හීත් කියවීමේ හැකියාව අපුරුවට තිබුණි 

හිතන්න  එපා බං ..ගිය එකීට යන්න දියන් .. අද නැතත් කවද හරි යනවා .. උබ වියදන් කරපු ගැන හිතන්න එපා බං .. සල්ලි දීලා ෆ්‍රෙෂ් බඩුවක් ගැහුවා කියලා හිතපන් 

ඒ කන්‍යාභාවය පිලිබන්න්ධ මා සිතට දැනුන ප්‍රථම කථිකාව විය .. කාලයත් සමග මම තනිව මගේ ගමන යන්නට උත්සාහ කලෙමි 
****
මීට වසරකට පමණ පෙර නැවතත් මම අදීෂා සමග අලුත් ජීවිතයක් ඇරඹුවෙමි .. 

අති යන්තං උබ අයෙත් ලව් කරන්න පටන් ගත්තා .. කියපං කියපං විස්තර .. කොහේ කෑල්ලක්ද .. මොනවද කරන්නේ.. උබ ඒකිට සිරාවට ලව්ද ?

සසිඳුවාගෙන් ප්‍රශ්න වැලකි.. ඒ ඌ සහෝදරයෙක් තරම් මට සමීප බැවිනි..

කෙල්ල මාතර බං, මරදානේ ඔෆිස් එකක වැඩ .. පොඩි අවුලක් තියනවා . ඒකි එන්ගේජ් වෙලා ඉන්නේ..  ගෙවල්වල බලකිරීමට එන්ගේජ් වෙලා තියෙන්නේ ..

සසිඳුට හංගන්නට දෙයක් නැත .. අනෙක් අතට එය හන්ගන්ට දෙයක්ද නොව .. ආදරයට සීමා මායිම් නැත.. දෙසිතක් කොන්දේසි විරහිතව එකට බැඳෙයිද එතන ආදරය වේ.

මොනවද හු.. උබ මේ දාගන්න ලෙඩ .. උබට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද .. මෙව්වා උබලගේ ගෙදරින් දැනගත්තහම උත්තර දෙන්න වෙන්නේ මට.. 

බැනුමකට ආසන්න දොශාරෝපන් වැලකි.. උගේ පැත්තෙන් ඌ සාධාරණය .. අප නිවැසියන් විසින් මා පිලිබඳ ආරෝපණය කරන ලද වගකීමක් ඌ සතු වේ .. ඒ අප කුඩා කල සිට මිතුරන් වූ නිසාත් ඌ මගේ පවුලට පිට එකෙකු නොවූ නිසාත්ය 

දැන් අර එන්ගේජ් වෙච්ච එකා කෙල්ලත් එක්ක ඉන්නේ එකටද?

සසිඳු මේ අහන්නේ අදීෂාගේ කන්‍යාභාවය පිළිබඳවය.. ඒ ඌට දැනගන්න ඕන නිසා නොව අප නිවසින් එල්ලවන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණදීමට. සෘජු පිළිතුරු කල් ඇතිව සකසා ගැනීමටය 

සත්‍ය වශයෙන් මට දීමට පිළිතුරක් නැත ..

මං දන්නේ නෑ බං .. මං අහන්න ගියේ නෑ.. මට දැනගන්න උවමනාවක් තිබ්බේ නෑ .. 

මම මනසින් මගේ බිරිඳගෙන් මා බලාපොරොත්තු වන දෑ එකින එක පෙළ ගස්සුවෙමි .. එහි බොහෝ පිරිමින් සොයන හුඟක් දෑ විය .. එහෙත් කන්‍යාභාවය ඇතුලත් නැත 

එය උක්ත මාතෘකාව පිළිබඳව මසිතට තදින් දැනුන දෙවන අවස්ථාව විය .  

****

ඉහත වෘතාන්ත ද්විත්වයම මාතෘකාවට ප්‍රවිෂ්ඨ වීමට මා විසින් ගොතන ලද්දක ලෙස සිතීමට කාරුණික වෙන මෙන් ඉල්ලා සිටිමි .. නමුත්  මෙවන් කතා බහක් සිදු වූ බැවින් එය 100% ක්ම ප්‍රබන්ධයක්‌ නොවන බව නම් සත්‍යයකි..එකම වෙනස මා එහි සසින්දුගේ චාරිතය නිරුපනය කිරීම පමණි 

සයිබරය තුලද මේ දිනවල කන්‍යා භාවය පිලිබඳ අන්දෝලනත්මක් දෑ පල වේ. ඒ තම කන්‍යා භාවය ඇමරිකානු ඩොලර් 780,000 .00 කට අලවි කල බ්‍රසීල ජාතික කැත්රීනා මිග්ලොරීන් නම් වූ විසි හැවරිදි නව යොවුන් තරුණිය මුලික කොට ගෙනය.. ආසියානුවන් වූ අපට මෙය මජික්ය .. හේතුව අප ජීවත් වූ සදාචාර සම්පන්න රාමුව තුල කන්‍යාභාවයට ලබා දී ඇති අසීමිත වටිනා කම නිසාය.. සියලු සමාජ සාරධර්ම අමතක කොට අගේ ක්‍රියාව පිලිබන්ධව සිතන කල්හි ඔබට කුමක් කිව හැකිද ?

පැහැදිලිවම එහිදී ඇයගේ අරමුණ වන ඇය උපන් ප්‍රාන්තයේ දුපත් පවුල් රැසකට නිවාස තනා දීමේ උතුම් ව්‍යපෘතිය ඉස්මතු වෙනු ඇත.. ගතානු ගතික සිතුම් පැවතුම් ඇති අප අපගේ ජීවිතයේ මුදුන්මල්කඩ බඳු වූ බුදුදහමේ පදනම මත සිට උක්ත කාරනය දෙස බලූ විට පැහැදිලි පිළිතුරක් ඇත 

" චේතනාහම් භිඛ්ක වේ කම්මං වදාමි " - චෙටනාව මුල්කරගෙන කර්මය හටගනී

එසේනම් මගේදැක්මට අනුව ඇය සාර්ථකව දාන පාරමිතාව සම්පුර්ණකර ඇත.

අනතුරුව  නැගෙන ගැටලුවනම් කන්‍යාභාවය මෙවන් විශාල මුදලකට අලවි කල හැකිනම් මෙයඉදිරියට ආදායම් මාර්ගයක් ලෙස භාවිතානොකරනු ඇතිද යන්නයි .. 

ඇත්ත වශයෙන්ම එය එසේ නොවනු ඇත .. ලෝකයට අලුත් අත්දැකීමක් නිසාවෙන් එයට ලද අසීමිත් ප්‍රසිද්ධිය මෙකී මිලට එක් හේතුවකි .. ආර්ථික විද්‍යාඥයින් උක්ත වෙළඳ පොළ පිලිබඳ තවම නිර්වචන ඉදිරිපත් නොකළ බැවින් මම එය ගිෆන් භාණ්ඩයක් ලෙස නම් කරමි. ( කලකට පෙර උගත් දෑ භාවිතා නොවීම හේතුවෙන් වැරදිය හැක , වැරදිනම් නිවැරදි කරන්න )  එනම් තම සමාජ තත්වය පෙන්වීම සදහා දනවතුන් මිලදී ගන්නා භාණ්ඩ වේ .. අදාළ භාණ්ඩය මිලදී ගත් පළවෙනියා වීමට අදාළ ජපන් ධනවතා තුල වූ අශාවත් මේ මිල සඳහා බලපෑ ඇත .. මෙම වෙළඳපොල දිගටම පැවතුනහොත් එයද ක්‍රමයෙන් සාමාන්‍ය වෙළඳ පොලක් බවට පත්වෙනු ඇත .. එහිදී ඉල්ලුම සැපයුම මත උපයෝගීතාවයට සරිලන මිලක්නියමවෙනු ඇත


කැත්රීනගේ සිද්දිය අමතක කොට අපේ සරල ජන ජීවිතය ගත් කලද කන්‍යාභාවය යනු උග්‍ර ප්‍රශ්නයකි .. යුවතිය තවමත් මදුසමයට පසු තම සැමියා හා නැන්දනිය ඇතුළු සැමියාගේ නෑ පිරිස ඉදිරියේ සිය පිවිතුරු බව ඔප්පුකල යුතුය .. ඒ සඳහා නිර්ණායකය ලෙය මංගල යහන මත එලන ලද සුදු රෙදිකඩක් උපයෝගී කරගැනී 
 
රෙදි  කැබැල්ලක් මත ලේ පැල්ලමක් තිබූ පමණින් ගැහැණියකගේ පිවිතුරු බව ඔප්පු කල හැකිද? 
කන්‍යා පටලය සුරැකෙන පරිදි යුවතියකට ලිංගිකව එක්විය නොහැකිද ?  
සිය  අකමැත්තෙන් කන්‍යාභාවය අහිමි වූ යුවතියන් ( දුෂණයට ලක්වූ ) අපිරිසිදු ගැහැණුන්ද ?

ප්‍රශ්න රාශියකි 

සත්‍යවශයෙන්ම පිරිමියෙකු සෙවිය යුත්තේ සිය මංගල යහන පුරා රක්ත වර්ණ ලේ පැල්ලමක්  තැවරිය හැකි ස්ත්‍රියක්ද ? නැතිනම් තමා වෙනුවෙන් සිතෙහි ඉඩක් වෙනකල හැකි .. තමා වෙනුවෙන් යම් කැපකිරීමක් කළහැකි විවාහයෙන් පසු ඇගේත් තමාගේත් ගෞරවය ආරක්ෂා කල හැකි ගැහැනියක්ද ? 






Read More

Monday, 29 October 2012

මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි 2 ( නරක වචනවල තෙරුමුත් තියනව )

ඔන්න අදත් මම හින්දි පාඩමත් අරගෙන ඔයගොල්ලන්ගෙ නිවසට ගොඩ වැදුනා..අපිට සති කිහිපයක්ම පන්ති පවත්වන්න බැරි උන හින්දා ළමයින්ට මුල පාඩම අමතකත් ඇති.. එහෙනම් මෙතනට ගිහින් මුල පාඩම කියවල එන්න ,,

හා දැන් අලුත් පාඩම

අදත් මම තෝරගත්තේ ජනප්‍රිය හින්දි ගීත ඛණ්ඩ කිහිපයක සිංහල තේරුම,, හොඳට කට පාඩම් කරගන්න 


ආවෝ සුනාවෝ ඒකති ප්‍රේම කහානි
එන්න සුනාවෝ ඒක ආදරෙන් කහන්න  ( සුනාවෝ කියන්නේ නමක් )

බරි බරි සාත මෙහෙක රාර් හුවා අලහමියා
දියබරියෝ  හත් දෙනෙක් පාරේ මීයෙක් අල්ලාගෙන

නයා  කොයි ගුල් කිලායේගී  තබිතෝ චංචල හේ තෙරේ නයනා , දෙකෝනා දෙකෝනා
නයා කොයි ගුලේද කියලා චංචල සිතින් බැලුවා , නයි දෙන්නයි යකෝ නයි දෙන්නයි

ලේෆ්ට්  ලෙග් අගේ අගේ  රයිට් ලෙග් පිචේ පිචේ
වම් කකුල ඇදම ඇදයි  දකුණු කකුල පීචංම පීචං 

දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ.... 
තෝ  දොස් නොකියා ඒ දේශ ප්‍රේමීන්ට කසා ගන්න දීපන්
( මේ සැමා ලියපු  ලස්සන කතාවක් .. සැමත් තේරුම ටැපලගෙන )

සච්ච කෙහෙතීහු මේ කසම්සේ කසම්සේ . හමේ ප්යාර් හෝගයා
ඇත්තමයි මේ කියන්නේ කසනවා කසනවා, හමේ පාරත් හිටලා

මෙරේ ජීවන්තෝ හේ තේරා සායා
මේරී අන්න ජීවන් උබේ සාය අරගෙන

ජානම් දේක ලෝ මිටි ගයී දුරියා...
ජානා දැක්කනේ දුරියන් කෑවහම මිටි වෙනවා

කබර් යේ ආයි හේ වහා සේ ... කොයි තුම්සා නහී .
කබරයෙක් ආවා එහෙ ඉඳං .. කෝ තමුසේ නෑ

ජහේ තුම් කුච් නා කහෝ 
ජයේ ඔයා කුචු කවන්න එපා

මෙව්ව කොහෙන්වත් කොපි කරපුව එහෙම නෙවෙයි ඈ .. මගේම ඔරිජිනල්... මීගොඩයගෙන්ම පමණයි









Read More

Monday, 22 October 2012

සිතුවම

දේදුන්නෙ පාට හත
සීරුවට අතින් ගෙන
හෙමි හෙමින්
සිතුවමට පාට දෙන

දෙනෙත් අඩවන් කොට
දෙතොල උල්කොට පිටකරන
සිගරට් දුම් වළලු ගෙන
වළාකුළු අඳින

තරුවලට හොරෙන්
නෙලාගත් මල් කිහිපයක්
සිත්තමේ පහතින්ම තබා
මස්කට් සමග ප්ලේන්ටි තොලගාන

අයිස්කැට පිරවූ
රතු පාට විස්කි වීදුරුවට
සෝඩා එකතුකර
පැන නගින පෙණ වලින්
මල්පෙති මත පිණිකැට තබන

සැහැල්ලුවෙන් ඇඳි සරල සිතුවම
ලෝකයට බලිකුරුට්ටක් සේ පෙනෙන
එහෙත් මම අසීමිතව විඳින
මගේ සරල සිතුවම

රජයේ මත්පැන් හා දුම්කොළ නීති රෙගුලාසි වලට ගරු කරමින් 21+ ලේබලය ඇලවූ බව කරුණාවෙන් සලකන්න

ඊයේ දාපු පෝස්ට් එකේ මොකද්දෝ අවුලක් උනා.. හරියට පෝස්ට් උනේ නෑ... ඒක බලන්න බැරිවුනු අය මෙතනින් ගිහින් බලල එන්න
Read More

Sunday, 21 October 2012

නුඹමයි අනු රූ.. ලොව්තුරු ප්‍රේමයේ


















රුහිරු උරුමයෙන් පුද ලද ජීවයේ 
නිහඬ පිළිරුවයි අමිලවු ස්නේහයේ 
නිති නෙත මා රුව දැවටුණු හීනයේ 
නුඹමයි අනු රූ.. ලොව්තුරු ප්‍රේමයේ 

ඉර මද්දහනේ කර්කෂ මහ පොළොවේ 
කාසියකට රන් ඩා බිඳු විකිණූයේ 
ඒ රන් ඩා බිඳු සුවඳිනි දිවි ගමනේ 
හිනැහී හිනැහී ණැනමල් පොඩි පිපුනේ 

වියරුව සපැමිනි කුනාටු මාරුතයේ 
ඔද බල බිඳ දැමු කැණිමඩලයි නිවයේ 
සසරින් සසරට මේ ජීවන ගමනේ 
පිය සෙනෙහසමයි සුවඳ දිදී දැනුනේ 

සති කිහිපයකට කලින් අම්ම ගැන  කවිය ලියපු වෙලාවේ කිහිප දෙනෙක් කරපු ඉල්ලීමක් තමයි තාත්තටත් කවියක් ලියන්න කියලා.. ඔන්න ඒ ඉල්ලීම තමයි අද ඉෂ්ඨ කළේ..අම්මා ගැන ලියපු කවිය නොකියවපු කට්ටිය  මෙතැන ක්ලික් කරන්න
Read More

Thursday, 18 October 2012

මීගොඩයට දොල දුකක්

කාලෙකින් මොකුත් ලියන්න බැරි උන හින්දා කාලෙකට කලින් ලියපු කවියක් දාන්න හිතුනා..
කවියට කලින් මේ කවියේ උපත ගැන කියන්නම්කෝ.. ඔළුවො කොහේ හරි වැදිල අන්දොස් වෙච්ච වෙලාවට අන්දොස් කවි ලියන මීගොඩයට කාලෙකට කලින් ආවා මාරම ආසාවක්,, ඒක තමයි හෙන බර සාර වචන දාලා ටොන් ගානක් බර මහප්‍රාණ ගනයේ කවියක් ලියන්න ඔනේ කියන දොල දුක.. ඕක ඉතින් පොඩි පහේ එකක් නෙවෙයිනේ.. ලෝකේ දොළ දුක හැදුණු පලවෙනි පුරුෂයා මමද දන්නෙත් නෑනේ... හොයල බලන්න ඔනේ

ඔන්න ඉතින් අර දොල දුක හිතේ තියාගෙන කවි බර ගානක් ලිව්ව.. මොන එකක්වත් හිතට ෆිට් නෑ.. ලියනවා ගුළි කරලා විසි කරනවා.. ඔහොම කොළ ගුළි බර ගානකින් ඔෆීසියේ ඩස්බින් එක පිරුනහම මීගොඩයටම ඇති වෙලා අර දොළ දුක නැතිවෙලා ගියා  .. ඊට පස්සෙ දවසක ෆයිල් වගයක් අදිද්දි මට කොල කෑල්ලක තිබිලා මම බර සාර මහප්‍රාණ  කවියක් කියල හිතාගෙන ලියපු කවියක් හම්බ උනා..

ඔය පහලින් තියෙන්නේ ඒක



සරණ වළා නොහැඬවෙන
අඳුර තැවරුන පාලු පැල්පත
යට ලීය බදු අරන්  
මකුළුවන් දැල්බඳින
සිහිනයෙන් සිහිනයට...
ආරි කෙළි ගෙට වඩන
උරුම කරුමයට
දුක්විඳින කුජ තලය






පට්ට මහප්‍රාණ නේ.. මේක කියවද්දි මටම හිනා.. ඔයාලත් හිනා වෙන්න.. ආ තේරුම දන්නේ නැති අය හොරෙන් FB මැසෙජ් එකක් දාන්න

ආයෙනම් මහප්‍රාණ කවි ලියන්න යන්නේ නෑ සත්තයි.. ඔයගොල්ලො පල්ලා

තවත් දෙයක්...

 ඔන්න බ්ලොග් එකේ පෙණුම වෙනස් කලා.. පොඩො පොඩි වැඩ ටිකක් දාලා අලුත්ම විදියට ඕගොල්ලො අතරට එන්න හිතුවා... ඒත් ඉතින් හුඟදෙනෙක් දන්නවනේ මගේ අයි ටී ගැන.. කොටින්ම අයි ටී කියන්නේ මීගොදයට මැජික්.. මට මේ වැදකෑලි ටික දාලා දුන්නේ සුදු මහත්තයගේ බ්ලොග් එක ලියන සුදා මල්ලි.. ස්තුතියි සුදා මලේ
Read More

Sunday, 14 October 2012

ස්නේහයේ සුව පතන බොළඳී


විරහ කඳුලක රැඳුන ගින්දර
සුසුම් මත හොර හොරෙන් තවරා
පාකරන බොල්  බිඳුණු හිතකින්
ස්නේහයේ සුව පතන බොළඳී

කඳුළු හැන්ගුන බොර දෙනෙත්වල
කිමිද කිමිදී  අනන්තය වෙත
ශේෂ වූ ඒක ප්‍රේම බිඳුවක
පහස සොයනා මුදු සිතැත්තී

සිඳී වියලුණු වැව් කඩිත්තක
සුපුෂ්පිත මල් සොයනු කෙලෙසද
මගෙ කඳුළු මැද මාව තනිකර
පියනගනු මවෙතින් ඉවත්වී
Read More

Monday, 1 October 2012

ජයටැඹ වෙත පාර කියූ ඈ - අම්මා

දෑතේ කරගට මල්මෙන් දකිමින
ඩා බිඳුවට සිය ජීවය දියකර
ජීවිතයෙන් ජීවිතයක් සුව කල
සඳුන් සිසිළ අම්මා
මේ සසරේ අමා සුවය අම්මා

රුවල බිඳී මහ දියඹේ අසරණ
කුණාටු හමුවේ වැලපෙන දිවි නැව
වෙරළ කරා දිරියෙන් පැද යන්නට
හබලක් වූ අම්මා
දිවි ගමනේ පහන් ටැඹයි අම්මා

මේ දිවිසැරියේ නිම්තෙර දකිනට
කන්තක සේ මා කරපිට හිඳුවා
නේරන්ජන නදියේ නිල් දියවර
තරණය කල අම්මා
ජයටැඹ වෙත පාර කියූ අම්මා
Read More

Tuesday, 25 September 2012

මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි ( නරක වචනවල තෙරුමුත් තියනව )

ඔන්න අද අලුත් දෙයක් දෙන්න යන්නේ... මම දැන් ඩුබායි ඇවිත් අවුරුද්දක් විතර වෙනවනේ.. එහෙදි වැඩිපුරම ආස්සරය කොරන්න ලැබුනේ ඉන්දියානු උදවිය .. ඉතින් කවුරුත් දන්නවනේ එහෙ ප්‍රධාන භාෂාව හින්දි නේ.. මටත් දැන් හොඳට හින්දි කථා කරන්න පුළුවන්.. ඉන්දියන් කාරයොත් එනව දැන් මගෙන් හින්දි ඉගෙන ගන්න

වෙන රටවල එවුන්ත හින්දි උගන්නන වෙලේ මට හිතුනා මගේ ආදරණීය යාළුවන්ට හින්දි ටිකක් උගන්වන්න... ඉතින් මම මුලින්ම තීරනය කලා අපිට නිතර ඇහෙන හින්දි ගීත ඛණ්ඩ ටිකක සිංහල තේරුම ඔගොල්ලන්ට දෙන්න

වැඩි කථා ඔනේ නෑ.. කෙලින්ම පාඩම.. 


 
         
          
තුම් පාස ආයේ යූ මුස්කුරායේ
තෝ පස්සෙන් එනකොට මුස්පේන්තුයි


දේකාහේ පෙහෙලී බර්
දෙන්නම පහල බාර් එකේ

පාස අවෝ ගලේ සේ ලගාවෝ
පස්සෙන් ආවොත් ගල් ගහනවා

මෙනෙ එක බාර් නහී බාර් බර් දේකාහේ
මෙහේ බාර් එකක් නෙවෙයි හැම තැනම බාර්

තූ සාමනේ බේටා රහී
තොට සමනගෙ බෙට්ටත්  රහයිනේ

තෙරේ මේරෙ මිලනකී ගී රේනා
තෝරු මෝරුන්ගේ මිල ඇහුවහම රෙවෙනවා
 ( බලන්නකො එහෙත් එහෙමළු )

මෙරා දිල් බී කිතනා පාගල් ගේ
දිලා මේ රා බීලා පල් රහයි කිව්වා

යේ ප්‍යාර්ක මෝසම් හුප්ත බඩී තුෆානී තුම් ඩර්නා මේරී රානී
මේ පාරනම් හුxxයි බඩයි කුඩු කරනවා.. තෝ දන්නෑ මේ රානි ගැන

මෙව්ව කොහෙන්වත් කොපි කරපුව එහෙම නෙවෙයි ඈ .. මගේම ඔරිජිනල්... මීගොඩයගෙන්ම පමණයි


පාඩම් අංක දෙකට මෙතන ක්ලික් කරන්න

Read More

Saturday, 22 September 2012

බිරිඳකගේ පැතුමක්.......

 
තරු කැට දිළිසෙන රාත්‍රියක මම
බලාන උන්නා රැයක් පුරා
දෑස පියාගෙන ඔබව පතන්නට
තරු කැටයක් බිම වැටෙන තුරා

ඈතින් දිලිහෙන කණාමැදිරි එළි
ඉඳහිට මට ඔච්චමක් කලා
මගෙ දුක හඳුනන පුරහඳ විතරක්
තනියට උන්නා මදෙස බලා

සිළි සිළි නද දෙන බෝපත් යට හිඳ
දැහැනට සම වැද දෙනෙත් පියා
පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
හැරගිය ඔබ යලි එන්න කියා
Read More

Tuesday, 18 September 2012

අසම්මතයට ආරාධනාවක්


සෙවනැළි අවදිව සිතුවිළි පාරන
සීතල නිහඬ රැයේ
පෑල දොරින් එන දස්කොන් වන්නට
පැතුමක් නොමැත ලයේ
 
යොවුන් වසන්තයෙ හිරිමල් හිත ලඟ
සුපිපුණු කුසුම ලයේ
අන්සතුවී නුඹ පිටගම් ගියදා
ඉනූ කඳුළු නෙත තාම තියේ

හද බැමි පොඩිකර දෙගුරුන් සනසා
ඉරණම් ගමනකි නුබත් ගියේ
දෛවය නුඹ හට කරනා සරදම්
තනි මගෙ හිතටත් දැනෙයි ප්‍රියේ

හිත ළඟ නවතුන කුළුඳුල් ප්‍රේමය
උණුසුම තාමත් තියෙයි ලයේ
පත්ඉරු මත තැනු නුඹගේ ලෝකය
අතහැර සැනසෙමු එකට ප්‍රියේ


"කවි සිතුවිල්ලක් පමණයි "
Read More

Sunday, 9 September 2012

එන්න,... මානස විල කළඹන්න

















මානස විල්තල කළඹන මඳ නල
ඇදී ඇදී... ඇවිදින්.........
හද විල නළවන ආදර ස්වරයක
පහස පතා සක්මන්.........
ජීවන කතර පුරා..... සක්මන්

විල්තෙර රඟදෙන තිසර රැඟුම් දැක
ආලනුරා හැඟුමන්..........
සිත තුල සොඳුරු සිහින මවමින්.... සක්මන්....
සසර පුරා... සක්මන්....
නිරතුරු , සසර පුරා... සක්මන්....

සුරත් තඹුරුමත චුම්ඹන දවටන
බඹර රැඟුම් දකිමින්......
හද විලමලක පහස පතමින්... සක්මන්....
සසර පුරා සක්මන්......
මල්හී වදින තුරා සක්මන්....


Read More

Tuesday, 4 September 2012

ඉද්ද ගසක කඳුළු කථාව


 ජීවිතේ පුරාවට
පුබුද්දපු පුරුද්දට
අදත් මල් කිහිපයක්
පීදුවා ඉද්ද ගස

ඊයෙ රෑ පුරාවට
බැට දීපු වට වැස්ස
බිඳ දමපු මහ අත්ත
තවම ඇත මුළ අසල

හැමදාම රොන් ගන්න
හුරු පුරුදු බඹර කැල
අදත් රොන් ගෙන ගියා
අත්ත ගැන නොඅසාම


බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
Read More

Monday, 27 August 2012

සාපයකට අතවනන ජාතියක්

බලන දස අත
ඇස ගැටේ නිති
විඳවමින් උන්
නෙක දනන්

නුවර වට කොට
නේක සැනකෙලි
අසිරියෙන් රට
පුරවමින්

සම්මතේ වැරැද්දෙන් ( X )
ජීවිතේ සුව සදන්
කුවෙර ලෙස වසයි උන්
සාටකේ කර දරන්

නගින බඩු මිල
දෙස නියෝගෙන
සාප කෙරුවත්
හෙන පතන්

හෙටත් පෙර ලෙස
සාදු දීගෙන
කතිරෙ ගසනවා
මේ දනන්

බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
Read More

Saturday, 25 August 2012

පුංචි කටින් කියවුණු ලොකු කතන්දර

ඔන්න අද කියන්න යන්නේ පොඩි උන්ගේ කථා... පොඩිඋන් උනාට  සමහර වෙලාවට හිතෙනව ලොකු එවුන්ටවත් මෙහෙම කථා කියන්න වචන කටට එනවද කියලා

මුල්ම එක අපේ අක්කගෙ කෙල්ල වයස අවුරුදු 8දී තමා මේ කථාව කෙල්ලගේ කටින් පිට වුනේ...

වයස අවුරුදු 8ක් වෙනකොට සමවයසේ අනිත් ළමයින්ට වඩා අපේ කෙලි පැටියා ටිකක් උස මහතයි.. අනේ ඒ උනාට හුරතලේනම් මෙහෙමයි කියන්න බෑ. කොයි වෙලෙත් ඇඟේ දැවටිලා කච කච ගාන එකමයි වැඩේ

ඉතින අක්කත් මේ වෙනකොට නිතරම එයාට සමාජය ගැන උපදෙස් දෙන්න පටන් අරන් තිබ්බෙ.. පිරිමි කට්ටිය ගාව වැඩිය යන්න එපා. කවුරු හරි මොනවහරි කලොත් කිව්වොත් ඇවිත් අම්මට කියන්න.. කතන්දර ගොඩයි..

ඔය මොනව කිව්වත් වැඩක් නෑ අපේ ඇඟේම තමයි ඉන්නේ.. දුවල ඇවිත් ඔඩොක්කුවට පනියි, නැත්තම් වඩාගන්න කියයි..
දවසක් මම හවස සැටි එකේ නිදාගෙන කාටුන් බල බල ඉද්දි අපේ පැට්තත් ඇවිත් මාව අයිනට තල්ලු කරලා සැටියේ නිදාගෙන කාටුන් බලනවා.. වැටෙයි කියල මාව බදාගෙන ඉන්නේ..

හරිම හුරතල් පා
යි.. මම විහිලුවට වගේ කිව්ව " මේ ඔයාට අම්ම කියල තියනව නේද කොල්ලො අස්සෙ රින්ගන්න එපා කියල "

මේකි චක් ගාල කට ඇදකරල එහෙම කීයපි " අම්මට විකාර එහෙනම් අම්ම තාත්ත ගාව දොය්යන්නේ" කියලා

ඉතින් මම මොනව කියන්නද?


මෙන්න දෙවනි එක

මේක සිද්දවෙනකොට සිද්දියෙ කොළුවට අවුරුදු 6 යි.. අපේ ගෙවල් ගාව ඉන්නේ..  සුපිරිම බුලට් එක.. හවසට සෙට් වෙන්නේ අපිත් එක්ක.. මචං ලෙවල් එකෙන් තමා ටෝක.. ඉස්කෝලෙ ගිය අලුත ටීචර් කියල මූට සින්දුවක් කියන්න කියලා.. මූ කියල තියෙන්නේ " ඔබ ඇපල් මලක් වාගේ සින්දුව"

ඉතින් දවසක් ඉස්කෝලෙ ඇරිල එක්කන් එන්න ගිහින් තියෙන්නේ අපේ ගේ ගාව අපේ වයසෙ වගේ කොල්ලෙක්.. පොඩි එකාව බයික් එකේ තියන් එන ගමන් අපෙ බුවා අහලා සංජුවෝ මොනවද අද ඉස්කෝලේ ඉගැන්නුවේ කියලා

පොඩි එකාගේ උත්තරේ " උගන්නන සීන් එකක්නම් නෑ ඕයි.. සෙල්ලම් කරන සීන් එකක් තමා තිබ්බේ "


මේ තුන්වෙනි එක.. 

මූ තමයි මම දැකපු හොඳම ඇම්බැට්ටය.. හැබැයි හෙන සිරා පොර.පොඩි කාලෙදිත් මොකක් හරි කියන්න එපා කිව්වොත් මැරුවත් කියන්නේ නැති ජාතියෙ ඩයල් එකක් මුගේ සුපිරිම කථා දෙකක් තියනවා.

අපෙ ගම ගැන කට්ටිය දන්නවනේ දැන්.. දන්නෙ නැත්තම් මෙතනට ගිහින් බලන්න

ඉතින් අරක්කු ටිකක් බීලා කුණුහරුපයක් කියාගෙන පාරෙ යන මිනිහෙක් කියන්නේ අපේ ගමට අමුතු දෙයක් නෙවෙයි.. (දැන් නම් ටිකක් හැදිලා ) ඉතින් පොඩි එකෙක් කුණු හරුපයක් කිව්වත් එච්චර පුදුම වෙන්න ඔනේ නෑ..

මේ සිද්දිය වෙනකොට කොළුවට අවුරුදු 4ක්නම් නෑ යන්තම් ඇවිදිනවා.. කොළුවට රෝද  තුනේ බයිසිකලයක් තිබ්බා.. දවසක් මේකා ඔය බයිසිකලේ උන්ගේ හරක් මඩුවෙ පාක් කරල තියලා.. හරක් මඩුව කිව්වට එක වැස්සියෙක් විතරයි ඉන්නේ.. ඉතින් කොළුවගේ සීයා හවස වැස්සිව ගෙනැල්ල කිව්වළු " කොළුවො මේ බයිසිකලේ ගනින් මේ වැස්සිව ඇතුලට දාන්න කියලා "
මූ මූනත් ඇඹුල් කරන් බයිසිකලේ ගන්න ගමන් කියනවළු " මූට මගේ බයිසිකලේට වඩා උගේ වැස්සි ලොකු උනා එහෙනම් කියලා "

මෙන්න හතර

මේ කථවත් අර බයිසිකල් බුවාගෙම තමයි.. කොල්ලගෙ තාත්ත හෙන වසයි.. අහු වෙච්ච එකෙන් ගහනවා.. අර කිව්ව සීය හෙන ආදරෙයි කොළුවට.. දවසක් සීය එනකොට කොළුව ගේ ඉස්සරග පැල ජම්බු ගහේ උඩ අත්තකට නැගල ඉන්නවළු.. මේක දැකපු සීය කිව්වළු අනේ පුතේ ඔතනින් බැහැපන් තාත්තා ආවොත් උබට ගුටි කන්න වෙයි කියලා...
පොඩි එකා කට උල කරල එහෙම කිව්වළු " තාත්ත නෙවෙයි සීයේ අම්මට *&%#පු එකා ආවත් මම අද ගහෙන් බහින්නේ නෑ කියලා"



ප. ලි. ල

බ්‍රහස්පතින්දා භගෙට ලියල වැරදීමකින් මේ පොස්ට් එක පබ්ලිෂ් උනා.. පෝස්ට් එක කෝ කියල අහල හොයල බලපු හැමෝඅටම ස්තුතියි....

බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
Read More

Thursday, 16 August 2012

නූපන් පැතුමක්

මන්දාරම් අඳුර අතරින් හමා ආ හිරිකඩ මුසු සුලන් රැල්ලක් නේරන්ජනාගේ හිස අවුලකර පිටව හියේ කාමරයේ එලා තිබූ බිං චෑනයද සිලි සිලි හඬින් නාද කරවමිනි. කඳුළු පිරි දෙනෙතින් පාර දෙස බලා සිටි ඈ දඩාස් හඬින් කවුළු පියන්පත් වසා දමා අඳට වැටුනාය.

දුරකතනය අතට ගත් ඈ සුපුරුදු අංකය ඇමතුවාය... " ඔබ ඇමතූ අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත, කරුණාකර පසුව අමතන්න." ප්‍රතිචාරයද ඇයට සුපුරුදුය. මාසයකුත්  දින දහසයක් පුරාවට ඇය වැඩිම වාරගනනක් ඇසූ වාක්‍ය කණ්ඩය එය විය.

මෙතෙක් දෑස් අග නලියමින් තිබූ කඳුළු බින්දු නේරන්ජනාගේ දෙතොල් සිපගෙන පහලට ඇදෙන්නට විය. 
දෙනෙත් තදකොට පියාගත් නේරන්ජනාත  අතීතය සිතුවම් පටයක් සේ මැවෙන්නට විය..

පසුගිය සිංහල අවුරුදු නිවාඩුවට සමන්තගේ බෝඩිං කාමරයේ සියළු මිතුරන් ගමේ ගියහ. සමන්ත පමණක් තනිවිය.. අවුරුදු දාට තෙදිනකට පසු හරියටම හිස තෙල් ගාන අවුරුදු දා නේරන්ජනා සමන්ත සමග පන්සල් ගොස් පිල්ලෑව බෝසමින්ඳු සිත් සේ වැඳ පුදා ගත්තාය ඒ අවසන සමන්තගේ යෝජනාව වූයේ කාමරයේ කිසිවෙකුත් නොමැති නිසා නිදහසේ කථා කිරීමට සුදුසුම තැන සිය කාමරය බවයි. බිය වීමට හේතුවක් නැත තමාටත් වඩා තම ආරක්ෂාව ගැන සැලකිළිමත් වන සමන්ත ලඟ සිටින විට ඇයට බිය වීමට හේතුවක්ද නොමැත.. ඇඟළුම් සේවිකාවක් වූ නේරන්ජනාටත් මහරගම වෙනත් ආයතනයක රියදුරෙක් වූ සමන්තටත් යා ගැකි ලාබදායීම තැන සමන්තගේ බෝඩින් කාමරය බව නේරන්ජනාද සිතුවාය

සමන්තගේ කාමරයට අතුළුවූ නේරන්ජනා සමන්තගේ ඇඳුම් නවා තැබුවාය.. අවුල්ව ගිය ඇඳ ඇතිරිළි පිළිවෙලකත සැකසුවාය

මොහොතක් නේරන්ජනා දෙස බලා සිටි සමන්ත සෙමින් අවුත් පිටුපසින් ඈ වැල්ලඳ ගත්තේය. නේරන්ජනගේ සිරුර කිතියකින් හිරිවැටී යන්නට විය.. බඳවටා අත දමා නේරන්ජනා සිය සිරුරට තෙරපවාගත් සමන්ත ඇගේ කන්පෙති ගෙල සිපගන්නට විය.

"අනේ සමන්ත.... කවුරු හරි එයි"

"බය වෙන්න එපා නිරූ කවුරුවත් නෑ" කියමින් නේරන්ජනා සිය ග්‍රහනයෙන් මුදා හල සමන්ත අඩවල් කර තිබූ දොර වසා දැමා නැවත නේරන්ජනා කරා පැමිණියේය.. සමන්තගේ ඇස් දිළිසෙන්නට විය.. ඔහු පහත් වී නේරන්ජනාගේ දෙතොල් සිය තෙතොල් අතරට සිරකරගත්තේය. නේරන්ජනා දෙනෙත් පියා ගත්තාය.. මොහොතකින් සමන්තගේ අත නේරන්ජනාගේ බ්ලව්සයේ කර වෙත ලඟා විය ..

"අනේ... සමන්ත එප්..පා.."

ඔයා මගෙනේ රත්තරං ... මම ඔයාව බලාගන්නව .. මැරෙනකන්ම කවදා...වත් තනිවෙන්න දෙන්නෙ නෑ..

ඒ වදන් හමුවේ නේරන්ජනාට කියන්නට දෙයක් නොවින.. ඇය සමන්ත හා එක්ව ජීවිතයේ අනන්තය කරා කිරිල්ලියක සේ සතුටින් පියබුවාය

හුදකලා කුටියක පිරිමියෙකුගේ දහඩියත් ගැහැනියකගේ කඳුළුත් කෙතරම් නම් දයාබර වන්නේදැයි නේරන්ජනාට සිතුණි

                                                                   *   *   *   *   *

"දැන් හූල්ල හූල්ල ඉන්නෙ නැතිව ලෑස්ති වෙයන් යන්න" සරෝජනීගේ කටහඬින් නිර්මලා පියවි ලෝකයට ආවාය.

"අනේ මට බෑ සරෝ, ... මම මේ දරු පැටියව හදා ගන්නවා"

"හදපන් හදපන්.. අප්ප නැති දරුවෙක් හදලා ඌට ලෝකෙම එවුන් අවජාතකය කියනව අහල හිනාවෙයන්.."

" ඒත් මේක මිනී මැරුමක් සරෝ "

" කෙහෙල් මල උබේ ළමය ලොකුවෙද්දි ඒකට ලෝකෙ උන් අවජාතකය කියද්දි ඒකා මැරි මැරී උපදිනවා' ඒදාට ළමය උබටත් ශාප කරයි.

මේ බලපන් නිරූ.. උඹ තාම තරුණයි.. ලස්සනයි.. ඔය සිද්දිය අමතක කරළ උබව බාරගන්න කොල්ලෙක් උඹට හම්බ වෙයි.. ඒත් ළමයෙක් එක්ක තනිවෙච්ච ගෑනියෙක් බාරගන්න එවුන් මේ රටේ අඩුයි.. දැන් ඔය කඳුළු පිහදගෙන ගිහින් ලෑස්තිවෙයන් යන්න
 
මුහුණ කට වසාගෙන
යකඩ අඬු අතින් ගෙන
යක්ෂයෙක් සැරසෙනව
මගේ පන නසන්නට
නෙත් කඳුළු බොඳ කරන්
නොම ඉඳන් ඔය ලෙසට
අම්මෙ උඹ දුවාපන්
බේරන්න මගේ පන
හිරු නඟින මල් පිපෙන
කුරුල්ලන් ගී කියන
සඳක් වට තරු දිලෙන
සීතලට හිම වැටෙන
තියනවලු ලෝකයක්
මේ අඳුරු ගැබ එපිට
අත තබා කුස මතට
අසාපන් මගේ දුක
පා ගසා දඟලලා
රිදවන්නෙ නෑ නුඹට
වද නොදී හිඳින්නම්
ගුලිවෙලා පැත්තකට
මං නොදුටු සොඳුරු ලොව
දෙනෙත් හැර දකින්නට
අනේ එක වරක්වත්
අම්මෙ මට ඉඩ දියන්



බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
Read More